Tuesday, December 27, 2011

ඕවිටේ වීදුරුව!

කෙටිම කෙටි කථාවකි!! ^_^

ක්‍රිස්තු වර්ෂ දෙදහස් දොළහේ අගෝස්තු 10 වෙනිදා උදේ දහයයි දහයට යෙදී තිබුණු සුබ නැකතෙන් පුජ්‍යස්ථානය භාර ඇමතිතුමා විදුලි බොත්තමක් තද කරලා ඩයිනමයිට් පෝලිමක් පුපුරවලා ගමේ වෙල අයිනේ තිබුන ගාරා වැටුණු පන්සල එක මොහොතකින් බිමට සමතලා කරා. ඇමතිතුමාගේ මල්ලිගේ භුමි සංවර්ධන සහ ගොඩනැගිලි ඉදීකිරීමේ සමාගම තරු පහේ හෝටලයක් එතන හදන්නත් වහ වහාම පටන් ගත්තා.. කොයිතරම් ඉක්මනට කාර්යමක්ෂ්ව වැඩ කෙරුනද කියනවනං දවස් කීපයක් යනකොට හෝටලේ පලවෙනි තට්ටුවත් හදලා ඉවර උනා. පහලම තට්ටුවේ තියෙන කොෆී ෂොප් එකේ විශාල විදුරු හයිකරන්නත් බාස් උන්න්නහැලා පටන් ගත්තා. ඒ මහා විශාල විදුරැ ජනේලයක් ඕවිටේ රබූටන් ගහකට හේත්තු කරපු බාස්ල දවල්ට කන්ඩ ළඟ තියෙන කඩේට ගිය වෙලාවේ වැහි ලිහිණිය පුරුදු විදියට පියාඹගෙන ආවා.






වැහිලිහිණියා වෙනද පුරුද්දට බොහොම වේගෙන් අහස පුරා පියාසර කරලා, කරනම් දෙක තුනකුත් ගහල, රඹුටන් ගහේ උඩම අත්තට යටින් තටු අකුලාගෙන ආවේ අතිවේග ජෙට් එකක් වාගේ. පහලට පියාඹලා ඊට එහායින් තියෙන දං පඳුරේ හැපෙන්නේ නැති වෙන්න අංශක 85 කෝණයකින් ඉහළට යන්ඩ හිතාගෙන ඊගහක් වගේ පහලට පියෑඹුවා. හැමදාමත් මේ ධාවන මාර්ගයෙන්ම වැහි ලිහිණියට වේගයෙන් හුලං පාර කනේ වැදීගෙන යනකොට මාර සනීපයක් දැනෙන්නේ.  

නමුත් මෙදා වැහිලිහිණියට වැරදුනා!
හීනෙකින්වත් බලාපොරොත්තු නොවූ විදිහිට මොකක්දෝ නොපෙනෙන යමක බොහොම තදින් වැදුණු වැහිලිහිණිය ඒ වැදුණු එක දිගේම රූටාගෙන පොළොවට වැටුනා. ටිකක් වෙලා යනතුරු වැහිලිහිණියට කල්පනාව පවා නැතුව ගියා. වෙඩි උණ්ඩය වගේ ඇවිත් හැප්පිච්ච නිසා ඔලුවත් පැලිලා ලේ ගලනවා. යන්තං සිහි එලවා ගත්ත වැහිලිහිණිය කොයිතරම් කල්පනා කරන්න හැදුවත් තෙරුම් ගන්න බැරිවුණා මේ හැපුනේ මොකකද කියල. 

පොඩ්ඩක් පියාඹන්න පුලුවන් ගානට සිහි ආවාට පස්සේ වැහිලිහිණිය කෙලින්ම එයාගේ ක්‍රීඩා සමාජයට පියඹලා ගියා ප්‍රථමාධාර ගන්න. ප්‍රථමධාර භාරව ඉන්න කවුඩට කියලා හොඳ බැන්ඩේජ් එකකුත් දාගෙන බාර් එකෙන් බීයර් එකකුත් දාගෙන තමයි වැහිලිහිණිය වටපිටවත් බැලුවේ. ලේ පෙරාගෙන ඇවිත් බැන්ඩේජ් දාගෙන වීදුරුවේ අඩිය පෙන්න කටේ හලා ගන්නව මෙතෙක් වෙලා බලා හිටිය උකුස්සායි නීල කොබෙයියයි මුහුදු ලිහිණියයි එක සැරේම වගේ ඇහැව්වා

"මොකද යාළුවා වුනේ?" කියලා.

වැහිලිහිණිය කිව්වා " මම වෙනදා වගේම කුඹුරයි ඔවිටයි හරහා පියඹලා අංශක 85 කෝණයක් අරගෙන උඩට එන්න හිතාගෙන පහලට පියාඹනකොට එකපාරටම වගේ ඉස්සහරින් වාතය ඝනි භවනය වෙලා මාව හැපිලා බිමට වැටුනනේ! "

උකුස්සයි නීල කොබෙයියයි මුහුදු ලිහිණියයි කදුළු පනින තුරු බඩත් අල්ලාගෙන හිනා උනා. හිනාවෙන ගමන්ම උකුස්සා කියනවා,
"මේ යාළුවා මට තරම් වේගයෙන්වත් ඉහලින්වත් ඉගිලෙන්න පුළුවන් තවත් කවුරුත් නැහැ. මම තරම් ලෝකේ වටේ කරක්ගහපු කෙනෙකුත් නැහැ. හැබැයි මමනම් කවදාවත් මේ සාමාන්‍ය වාතය ස්ඵටික වෙලා ඝනවෙලා තියෙනවා දැකලත් නෑ, අහලත් නෑ. අද තමයි ඔන් එහෙම එකක් ඇහැව්වේ" කියලා.

නීල කොබෙයිය කියනවා, "මමත් මගේ ජීවිතේට අහල නෑ වාතය ඝනවෙලා ස්ඵටික හැදෙයි කියලා නං. මෙයා ගහක හැප්පිලාද කොහද..."

"වතුර මිදුමනං ඝන වෙන්න පුළුවන් අයිස් වගේ. වාතය නං කවදාවත් එහෙම ඝන වෙන්න බැහැ" කියලා මුහුදු ලිහිණියත් කිව්වා.  

වැහිලිහිණියට දැන් වස ලැජ්ජාවයි!

"අඩ මානයක් නෑ වලාකුලකින් අයිස් කැටයක් වැටෙනකොට මෙයාගේ ඔලුවට වදින්න ඇති." කියලා උකුස්සා ආයෙත් හිනාවෙන්න ගත්තා.

"යාළුවා මොකද මේ ගැන කියන්නේ?" කියලා මෙතෙක් වෙලා පැත්තකට වෙලාමේ කතාව අහගෙන හිටිය කන කොකා දිහාට හැරුන නිල කොබෙයිය ඇහුවා.

"මට හිතෙන්නේනං වාතය ස්ඵටික බවට පත්වෙන්න ඇති" කියලා කිව්වාම උකුස්සායි යාලුවෝ ටිකයි මහා හයියෙන් හිනා වුනා. මුළු ක්‍රීඩා ශාලාවේම හිටපු ඔක්කොම දැන් මෙතනට වටවෙලා නිසා වැහිළිහිනියට පොළොව පලාගෙන යන්න තරම් ලැජ්ජයි.

" හොදයි එහෙනං අපි ඔට්ටුවක් අල්ලමු.. මම කියපු ගමන් මාර්ගයේම අනුගමය කරලා පියාඹලා මොනවත් නොවී ආපහු ආවොත් මගේ ගානේ අලුත් පලා පනුවෝ දීසිය ගානේ ඔය තුන් දෙනාට මගෙන්. බැරි වුනොත් මට ඔය 3න් දෙනාගෙන් දීසි 3ක්, හරිද?" වැහිලිහිණියා කිව්වා.

උකුස්සා කන කොකාට කිව්වා, " අපි දීසි 3 බෙදා ගම්මු. එන්න අපිත් එක්ක පියාඹන්න" කියලා. එත් කන කොකා කැමති වුනේ නැහැ. "මම ඔයාලා එනකං මෙහේම ඉන්නම්." කියලා කන කොකා කිව්වා.

"අපෝ... බයගුල්ලා!" කියලා හිනාවෙච්ච උකුස්සයි නිල කොබෙයියයි මුහුදුලිහිනියයි බොහොම වේගෙන් පියඹන්න පටන් ගත්තා. එක්කෙනාට එක්කෙනා පරද්දන්න වගේ පියාඹගෙන ආ මේ තුන්දෙනා රඹුටන් ගහ යටදී වීදුරුවේ හැපිලා බරපතල විදිහට ඔලු පලා ගත්තා!


ආදර්ශය : පසුබාන්නා බොහෝ විට ආරක්ෂාවේ!

No comments:

Post a Comment

Analytics

LinkWithin

Related Posts with Thumbnails